මුල් පිටුව අංශ සමාජ කතිකා සහ වැඩපොළ සහයෝගිතා ඒකකය
සමාජ කතිකා සහ වැඩපොළ සහයෝගිතා ඒකකය


සමාජ කතිකා සහ වැඩපොළ සහයෝගිතා ඒකකය පිහිටුවීම.

2004 මැයි මස කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්මික සම්බන්ධතා අංශයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් යටතේ පිහිටුවන ලදී.


අපගේ දැක්ම
කතිකාව සහ සහයෝගිතාව මඟින් කාර්මික සාමය සහ ආර්ථික සමෘද්ධිය.


අපගේ මෙහෙවර
සමාජ කොටස් කරුවන් අතර සන්නිවේදනය, අදහස් විමසීම, එක්ව තීරණ ගැනීම, ප‍්‍රචලිත කිරීම සඳහා ඔවුන් අතර කතිකාව සහ සහයෝගිතාව ප‍්‍රවර්ධනය කිරීම තුළින් කාර්මික සාමය සහ සංහිඳියාව පවත්වාගෙන යාමෙන් ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීම.

අපගේ අරමුණු
(අ)    සමාජ කතිකාව වර්ධනය කිරීම සඳහා නව ප‍්‍රතිපත්ති හා උපාය මාර්ග හඳුන්වා දීම හා ක‍්‍රියාත්මක කිරීම තුළින් ආයතන මට්ටමින් වැඩපොළ තුළ සාමූහික ගිවිසුම් ඇති කිරීම හා සාමූහික කේවල් කිරීමේ හැකියාව වර්ධනය කිරීම.
(ආ)    සමාජ කතිකාව හා වැඩපොළ සහයෝගිතාවය ප‍්‍රවර්ධනය සඳහා පුහුණු වැඩසටහන්, වැඩමුළු    හා සම්මන්ත්‍රණ සලසුම් කිරීම හා ක‍්‍රියාත්මක කිරීම.
(ඇ)    සමාජ කතිකාව හා සාමූහික ගිවිසුම් ප‍්‍රවර්ධනය සඳහා වෘත්තිය සමිති හා සේවකයින් අතර සම්බන්ධීකරණ කටයුතු ක‍්‍රියාත්මක කිරීම.
(ඈ)    සමාජ කතිකාව හා සාමූහික ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීමේ පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කිරීම.
(ඉ)    කාර්මික ආරවුල් අවම කිරීම.

මෙම ඒකකය කාර්මික සම්බන්ධතා අංශය යටතේ ක‍්‍රියාත්මක වන්නේ ඇයි ?
කම්කරු දෙපාර්තමේන්තුවේ  07 වන මහලේ ක‍්‍රියාත්මක කාර්මික සම්බන්ධතා අංශය සේව්‍ය සේවක දෙපාර්ශවය අතර ගොඩ නැ‍ඟෙන සබඳතාව තුළින් කාර්මික සාමය ඇති කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වේ.
මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙම අංශය ප‍්‍රධාන කොටස් 05ක් යටතේ ශ‍්‍රී ලංකාවේ කාර්මික සම්බන්ධතාවය ප‍්‍රවර්ධනයට කටයුතු කරයි. එනම්,
        (අ)    සේවය අවසන් කිරීමේ අංශය
        (ආ)    වෘත්තිය සමිති අංශය
        (ඇ)    කාර්මික අධිකරණය
        (ඈ)    සමථකරණ මධ්‍යස්ථාන
        (ඉ)    සමාජ කතිකා සහ වැඩපොළ සහයෝගිතා ඒකකය.
ගැටුම් වලින් තොර කාර්මික සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා සමථකරණය, සාමූහික ගිවිසුම් ඇති කිරීම, බේරුම්කරණය ආදී උපක‍්‍රම භාවිතා කරමින් සේවය අවසන් කිරීමේ අංශය, වෘත්තිය සමිති අංශය, බේරුම්කරණ මධ්‍යස්ථාන හා කාර්මික අධිකරණය ක‍්‍රියාත්මක වේ.
   
සමාජ කතිකා සහ වැඩපොළ සහයෝගිතා ඒකකය සමාජ කතිකාව සහ වැඩපොළ සහයොගිතාවය ඇති කිරීම මඞින් කාර්මික ආරවුල් ඇති වීම වැළැක්වීමේ හා අවම කිරීමේ අරමුණෙන් ක‍්‍රියාත්මක වේ.

පසුබිම
නිදහස් වෙළඳ ගණුදෙනු හා ගෝලීයකරණයේ ප‍්‍රතිඵලයක් ලෙස ජාතික හා ජාත්‍යන්තර වෙළඳපොළ තරඟකාරීත්වය ඉහළ යමින් පවතී. එම තරඟකාරී වෙළඳපොළ තත්ත්වයන්ට හා වෙනස් වන වෙළඳපොළ තත්ත්වයන්ට තව දුරටත් මුහුණ දීම සඳහා සේව්‍ය සේවක දෙපාර්ශවයේම සහය අවශ්‍ය වේ. ඒ සඳහා සමාජ පාර්ශවකරුවන් අතර සහයෝගිතාවය හා සහයෝගීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා කර්මාන්තායතන වෙන් වෙන් ලෙස විවිධ ප්‍රවේශයන් අනුගමනය කරනු ලැබේ. එහිදී හඳුනාගත් මූලික අංශයන් නම් ශ‍්‍රමය වඩාත් ඵලදායී ලෙස කළමණාකරණය කිරීමයි. මෙහිදී ආයතන මට්ටමින් කාර්යක්‍ෂමතාවය වර්ධනය කිරීම, ඉහළ ඵලදායිතාවයක් ඇති කිරීම, කාර්මික ආරවුල් හා ගැටුම් අවම කිරීම, රැකියා තෘප්තිය ඉහළ නැංවීම, සේව්‍ය,සේවක දෙපාර්ශවය අතර එකඟතාවයකින් තීරණ ගැනීම, හා සේවකයින් හා කළමණාකාරීත්වය තුළ පෙළඹවීම් වර්ධනය කිරීම යන ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කරනු ලබයි.

මෙම පසුබිම තුළ ලෝකයේ බොහෝ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් වැඩපොළ තුළ කාර්මික සම්බන්ධතාවය ඇති කිරීම සඳහා සේවකයින් සහ කළමණාකරීත්වය අතර කතිකාව සහ සහයෝගිතාවය වර්ධනය කිරීම කොරහි වඩාත් අවධානය යොමු කර ඇත.

ගෝලීයකරණයේ ප‍්‍රතිඵලයක් ලෙස ඇති වූ නිදහස් වෙළඳාම හා විවෘත ආර්ථිකය නිසා පෞද්ගලික අංශයේ ශීඝ‍්‍ර වර්ධනයක් ඇති විය. මෙම තත්වය තුළ පසුගිය දශක දෙකහමාර තුළ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමද ක‍්‍රමයෙන් වැඩි විය. විවෘත ආර්ථික ක‍්‍රමය ක‍්‍රියාත්මක වී වසර 25ක් වන විට පෞද්ගලික අංශය මෙරට ආර්ථික වර්ධනයේ තීරණාත්මක සාධකය වී ඇත. එම නිසා රටේ සංවර්ධනය උදෙසා පෞද්ගලික අංශයේ ක‍්‍රියාකාරීත්වය වඩාත් ඵලදායී ලෙස පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. එම නිසා වැඩපොළ සහයෝගිතාවය තුළින් කාර්මික සම්බන්ධතාවය පවත්වාගෙන යාම ජාතික වැදගත්කමකින් යුත්තක් මෙන්ම එය සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප‍්‍රවේශයක් විය.

කතිකාව යනු කුමක්ද ?
පාර්ශවයන් දෙකක් හෝ වැඩි ගණනක් අතර ඇති වන සාකච්ඡාව කතිකාවක් වේ. සමාජ කතිකාව එවැනි සාකච්ඡාවක් පමනක් නොව සමාජ පාර්ශවකරුවන් අතර  (සේවක  -  සේව්‍ය, සේවක  - සේවක සංවිධාන සහ රජය)  එකඟතාවයක් ඇති කිරීම සඳහා සිදුවන කතාබහකි. යම් ඉලක්කයක් සපුරා ගැනීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන එබඳු සාකච්ඡාවක් අවසානයේ දෙපාර්ශවයම සතුටට පත්වන ආකාරයේ විසඳුමක් ලබා දීම සිදුවේ.
කතිකාව විවාදයෙන් වෙනස් වේ. විවාදයේදී එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයේ අදහස් තර්කය තුළින් පරාජය කිරීමට උත්සාහ ගනී. ඒ සඳහා එක් පාර්ශවයක් අනෙත් පාර්ශවයට අපහාස කිරීම,  තර්ජනය කිරීම,  අවමානයට ලක් කිරීම,  නින්දා කිරීම,  සිදු කරන අතර අවසානයේ ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයන්ට තමන් විවාදයට ලක් කල කරුණු පිළිබඳව එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවය අපොහසත් වේ.

සමාජ කතිකා හා වැඩපොළ සහයෝගිතා ඒකකය මඟින් කෙරෙන වැඩසටහන්
දැනට මෙම අංශය මඟින් ආයතන මට්ටමින්, ආංශික මට්ටමින්, (ඇඟළුම්, ඉංජිනේරු, වතු ආදී අංශ) වැඩසටහන් පවත්වන අතර දිවයිනේ සියළුම දිස්ත‍්‍රික් කම්කරු කාර්යාල ආවරණය වන පරිදි කම්කරු උපදේශණ සභා ක‍්‍රියාත්මක කරනු ලබයි.
වැඩසටහන් පැවැත්වීමේදී  දේශන, කෙටි චිත්‍රපට, වැඩමුළු පවත්වන අතර එහිදී ශ‍්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ හා අත්පත‍්‍රිකා යොදා ගන්නා අතර ඒ සඳහා වන සියළු මුල්‍ය පිරිවැය අප ඒකකය මඟින් දරණු ලබයි. දිවයින පුරා සියළු පෞද්ගලික ආයතන අර්ධ රාජ්‍ය ආයතන සඳහා ඉහත වැඩමුළු පැවැත්වෙන අතර වැඩසටහන් අවශ්‍ය ආයතන වලට පහත දුරකථන අංක යටතේ අප ඒකකය සම්බන්ධ කරගත හැකිය.

ලිපිනය  6 වන මහල,
              කම්කරු මහ ලේකම් කාර්යාලය,
              කොළඹ 05.

දුරකථන අංක         011 2586313 - 011 2500065
ෆැක්ස්                    011 2586313
විද්‍යුත් තැපෑල         dolsocial@sltnet.lk


 

අවසන් යාවත්කාලීන කිරීම 2011 ජූනි 28 වෙනි අඟහරුවාදා, 09:58