මුල් පිටුව අපගේ සේවාවන්
සේවය අවසන් කිරීමේ අංශයේ සේවාවන්

01           සේවය අවසන් කිරීමේ පනත යටතේ රක්ෂාව අවසන් කිරීමක් ලෙස සැලකිය හැක්කේ කවර අවස්ථාවලදී ද?           

  • විනය හේතුවක් නොවන වෙනත් ඕනෑම හේතුවක් මත සේවය අවසන් කිරීමක දී
  • සේවායෝජක විසින් තාවකාලික හෝ ස්ථීරව සේවකයාට රැකියාව නොදීමේදී
  • සේවායෝජක විසින් යම් වෙළදාමක්, කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වසා දැමීමේ ප්‍රතිඑලයක් ලෙස සේවකයාට රැකියාව නොදීමේ දී

02           සේවයෝජකයෙකු හට සේවකයෙකුගේ සේවය නීත්‍යානුකූලව අවසන් කල හැක්කේ කෙසේද?  

  • සේවකයාගේ පූර්ව ලිඛිත කැමැත්ත ලබා ගැනීමෙන් හෝ,
  • කම්කරු කොමසාරිස් ජනරාල්ගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගැනීමෙන්        

03           සේවකයෙකු විසින් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතු කාල සීමාවක් තිබේද?       

ඔව්. සේවය අවසන් කළ දින සිට මාස 06ක් ඇතුළත සේවකයා විසින් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.      

04           සේවකයා වෙනුවෙන් වෘත්තීය සමිතියකට අයදුම්පත්‍රය ඉදිරිපත් කළ හැකිද?     

ඔව්. සේවකයා විසින් තම අත්සන තබන ලද අයදුම්පත්‍රයක් වෘත්තීය සමිතියක් මගින් කම්කරු කොමසාරිස් වෙත යොමු කල හැක.          

05           සේවකයා වෙනුවෙන් වෘත්තීය සමිතියකට පරීක්ෂණයේදී ඉදිරිපත් විය හැකිද? 

ඔව්. වෘත්තීය සමිතියකට සිය සාමාජිකයන් නියෝජනය කල හැක.        

06           සේවය අවසන් කිරීමේ පනත යටතේ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද?       

පහත පනත් වලින් ආවරණය වන රැකියාවක නියුතු සේවකයෙකු වීම.

  • සාප්පු හා කාර්යාල සේවක පනත
  • පඩිපාලක සභා ආඥා පනත (මෙම පනතේ 6:2වගන්තිය යටතේ ගැසට් පත්‍රයේ පල කරන ලද ඕනෑම කර්මාන්තයක රැකියාවක්)
  • කර්මාන්තශාලා ආඥා පනත

සේවය අවසන් කළ දිනය වන විට අඩුම වශයෙන් සේවයේ පළමු වර්ෂයේ දින 180ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයෙකු වීම.

සේවය අවසන් කළ දින හෝ එදිනට පෙර මාස 06ක කාලය තුළ කවර අවස්ථාවක හෝ සේවායෝජක ආයතනයේ සේවකයන් අවම වශයෙන් 15ක් සිටීම.

සේවායෝජක විසින් සේවකයාගේ සේවය අවසන් කිරීමක් කර තිබිය යුතු වේ. අනුමිත සේවය අවසන් කිරීමක් හෝ ඉදිරියේදී සේවය අවසන් කිරීමේ අවදානමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාවක් නොමැත.

07           සේවය අවසන් කිරීමේ පනත යටතේ සහන ඉල්ලා සිටිය නොහැකි සේවකයන් කව්රුන්ද?           

  • සේවයෙන් ඉල්ලා අස් වූ සේවකයන්
  • නිශ්චිත කාල සේවා ගිවිසුමක් යටතේ සේවය කර එම ගිවිසුම් කාලය අවසානයේ සේවය අවසන් වූ සේවකයන්
  • සේවා ගිවිසුමේ විශ්‍රාම ගැන්වීමේ වයස පැහැදිලිව දක්වා ඒ අනුව විශ්‍රාම ගන්වන ලද සේවකයන්
  • විනයාරක්ෂක ක්‍රියාවක් ලෙස දඩුවමක් දීමේ හේතුවකට සේවයෙන් ඉවත් කළ සේවකයන්
  • රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ව්‍යවස්ථාපිත අධිකාරීන්, රජයට පවරාගත් ආයතන, පළාත් සභා, පළාත් පාලන ආයතන හා සමුපකාර සමිතිවල සේවයේ නියුක්ත සේවකයන්

08           සේවායෝජකයෙකු හට සේවය අවසන් කිරීමේ පනත යටතේ අයදුම්පත්‍රයක් යොමු කළ හැකි අවස්ථා මොනවාද?  

  • ආයතනය තාවකාලික අර්බුද අවස්ථාවකදී තාවකාලික සේවා පසෙක තැබීමක් සඳහා ඉල්ලුම් කළ හැක.
  • අතිරික්ත සේවකයන් ඉවත් කිරීම සඳහා ඉල්ලුම් කළ හැක.
  • ආයතනයක් හෝ ආයතනයක යම් අංශයක් වසා දැමීමේදී සේවකයන්ගේ සේවය අවසන් කිරීම සඳහා ඉල්ලුම් කළ හැක.           

09           පරීක්ෂණ කටයුතු පහසු කිරීම සඳහා සේවකයෙකු හෝ සේවයෝජකයෙකු විසින් ඉදිරිපත් කරන අයදුම්පත්‍රයක ඇතුලත් විය යුතු කරුණු මොනවාද?            

  • සේවකයාගේ සම්පුර්ණ නම
  • ස්ථීර ලිපිනය
  • පත්වීමේ දිනය
  • තනතුර
  • සේවකයාගේ උපන් දිනය
  • සේවක අර්ථ සාධක අරමුදල් අංකය
  • ජාතික හැදුනුම්පත් අංකය
  • සේවය අවසන් කරන විට ලැබූ වැටුප (මූලික වැටුපට අමතරව වෙනත් දීමනා ලැබුයේ නම් මූලික වැටුප සහ අනෙකුත් දීමනා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්න)
  • සේවායෝජක ආයතනයේ නිවැරදි නම
  • සේවායෝජක ආයතනයේ ලිපිනය (හැකි නම් සමාගමක් ලියාපදිංචි කිරීමේ ආකෘතිපත්‍ර අංක 01හි හෝ සමාගම 20හි ආකෘති පත්‍රයෙහි සහතික කල පිටපතක් හෝ ඡායාපිටපතක් ඉදිරිපත් කරන්න)
  • ආයතනයේ විශ්‍රාම ගැන්වීමේ වයස
  • ආයතනයේ සම්පුර්ණ සේවක සංඛ්‍යාව
  • ආයතනයේ නිෂ්පාදන ස්වභාවය
  • සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක

ඉහත සඳහන් කරුණු වලට අමතරව සේවකයෙකු විසින් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී තමාගේ සේවය අවසන් කල දිනය /සේවය අවසන් කිරීමට හේතුව/ආයතනයේ අධ්‍යක්ෂ, අයිතිකරු, කොටස්කරු ආදීන්ගේ නම් හා ලිපිනයන් ඇතුලත් විය යුතුය.

10           අයදුම්පත්‍රයක් ඉදිරිපත් වීමෙන් අනතුරුව කම්කරු කොමසාරිස්ගේ කාර්යභාරය කුමක්ද?

  • සේවයෝජකයෙකු විසින් සේවකයෙකුගේ සේවය අවසන් කිරීම සඳහා අවසර ලබා ගැනීම පිණිස අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළහොත් අදාළ පාර්ශවයන් කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු සේවායෝජක විසින් කරන ලද ඉල්ලීම පිළිගැනීම සඳහා සාධාරණ හේතු තිබේ නම් වන්දි සුත්‍රය අනුව ගණනය කරන ලද වන්දි මුදල සේවකයාට ගෙවා සේවය අවසන් කිරීමට අනුමැතිය දෙනු ලැබේ. සේවායෝජක විසින් කරන ඉල්ලීම පිළිගැනීම සඳහා සාධාරණ කරුණු නොමැති වුවහොත් අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • සේවකයෙකු විසින් තමාගේ සේවය අවසන් කිරීම පිලිබදව අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළහොත් අදාල පාර්ශවයන් කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව පරීක්ෂණයේදී පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු පනතේ විධි විධාන අනුව නීති විරෝධී සේවය අවසන් කිරීමක් බව සනාථ නොවුන හොත් අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීම හෝ පනතේ විධි විධාන අනුව නීති විරෝධී සේවය අවසන් කිරීමක් බව සනාථ වුවහොත් පසු වැටුප් සහිතව නැවත සේවයේ පුනපත් කිරීමට හෝ වන්දි සුත්‍රය අනුව වන්දි ගණනය කර ගෙවීමට සේවයෝජකට නියෝග කිරීම කරනු ලැබේ.වන්දි සුත්‍රය යනු 2005.03.15දිනැති අංක 1384/07දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්දි සුත්‍රය වේ.
අවසන් යාවත්කාලීන කිරීම 2011 ජූලි 08 වෙනි සිකුරාදා, 08:34